වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ කතාවට පදනම සැපයූ නිශ්චිත සන්දර්භය කුමක්දැයි මට දැන් මතක නැත. එමෙන්ම, කාලයාගේ ඇවෑමෙන්, මේ කතාව මගින් කියවෙන චීන නාවික නිලධාරියා කවුරුන්ද යන්න ද මට අමතක වී තිබුන ද, ඔහු විසින් පැහැරගත් ලාංකේය වින්දිතයා අලකේශ්වර වූ බැව් සැමවිටම මගේ මතකයේ රැඳී තිබුණි.  සිංහල වීරත්වය සාමූහිකව සැමරීමේදී, අලකේශ්වර, නැතහොත් වීර අලකේශ්වර අපගේ මතකයට පැමිණෙන්නේ බලවත් හමුදා නායකයෙකු ලෙස ය. ඔහු පසු කලෙක ලංකාවේ ප්‍රධාන රාජධානිය බවට පත් වූ කෝට්ටේ බලකොටුව මුලින්ම ස්ථාපිත කිරීම සහ යාපනය රාජධානියේ සිට ලංකාවේ දකුණුදිග ප්‍රදේශ ආක්‍රමණය කළ සේනා පාලනය කිරීම නිසා ගෞරවයට පත්විය.  පසුව ඔහු කෝට්ටේ බලය අල්ලාගෙන එහි රජු බවට පත්ව, වසර 12 ක් කෝට්ටේ රාජධානිය පාලනය කළේය.

නමුත් චීන ජාතිකයන් විසින් අලකේශ්වර පැහැරගැනීම සහ එමගින් සිදුවූ ආදීනව පිළබඳ විස්තර මෙම වීරෝදාර කතිකාවේ කොටසක් නොවේ. ‘ජාතික පරාජ’ ලෙස සාමාන්‍යයෙන් තේරුම්ගන්නා සිදුවීම් ලෝකයේ ඕනෑම සමාජයක මහජන මතකයේ කොටසක් බවට පත්නොවේ. ඊනියා  ‘ලැජ්ජා’ සහගත අවස්ථා බොහෝ විට මහජනතාව විසින් අමතක කර හෝ දැනුවත්ව මකා දමනු ලබන්නේ, වඩාත් පහසුවෙන් හා සතුටින් සැමරීමට හැකි දේ ප්‍රසිද්ධ මතකයට දරාගැනීම පහසු වන නිසාය. එනිසා, 15 වන ශතවර්ෂයේ සිදුවූ මේ චීන ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැඩි නිශ්ශබ්දතාවයක් මෙරට අතීතය පිළබඳ ජනප්‍රිය කතිකාව තුළ පැවතුන ද, එම සිද්ධිය පිළිබඳ ප්‍රමාණවත් විස්තර එකල වාර්තාවලින් මෙන්ම පසු කාලීන විද්වතුන් වන එඩ්වඩ් ඩ්‍රයර්, ලුයිස් ලෙවාටෙස්, සෙනරත් පරණවිතාන සහ අන් අයගේ පොතපතින් පහසුවෙන් ලබාගත හැක. මෙම සියලු මූලාශ්‍රවලින් පුළුල් වශයෙන් ඉදිරිපත් කරන්නේ, ලංකාවේ පමණක් නොව, ලොව කලාප කිහිපයකම 15 වන සියවස තුළ සිදුවූ  චීන නාවික ව්‍යාප්තියේ සමස්ත සන්දර්භය සහ දේශපාලනය පිළිබඳ අගනා විස්තරයක් බව පැහැදිලිය. මෙම අතීත සිදුවීම රාජ්‍ය තාන්ත්‍රික, මිලිටරි හා වාණිජමය අවශ්‍යතා සමග සමීපව බැඳී ඇති ආකාරය දෙස බලන විට, මෙම සිදුවීම පිළිබඳ අවබෝධයක් ලබාගන්නේ නම්, එම දැනුම වර්තමානයට ද බෙහෙවින් වැදගත් වන බව මගේ විශ්වාශයයි.

සෙන්ග් හේ සහ ‘මින්ග් නිධාන චාරිකා

මෑත කාලයේදී මා කියවන ලද මුලාශ්‍රවලින් මට මතක් කර දුන්නේ, දේශීය වශයෙන් අමතක කර දමා ඇති මේ කතාවේ ප්‍රධාන චරිතය සෙන්ග් හේ (Zeng He) වූ බවයි. ඇතැම් විට ඔහු  චෙං හෝ ලෙස ද හැඳින්වේ. ඔහු සුප්‍රසිද්ධ චීන නාවික හමුදා අද්මිරාල්වරයෙකි. දැනට ශේෂව පවත්නා වාර්තාවලට අනුව, සෙන්ග් හේ සහ ඔහුගේ බලඇණිය ලංකා මුහුදට පැමිණියේ මින්ග් රාජ සභාව විසින් ‘නිධාන චාරිකා’ (Ming Treasure Voyages) නමින් හැඳින්වූ, 15 වන සියවසේ ක්‍රියාත්මක වූ නාවික ව්‍යාප්ති ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි. මෙම නාවික ව්‍යාපෘතිය යටතේ මුහුදු චාරිකා හතක් 1405 සහ 1433 අතර සිදු විය. මෙය මින්ග් රාජවංශයේ යොන්ග්ලේ අධිරාජ්‍යයාගේ සංකල්පයකි.  1403 දී මෙම නාවික බලඇණිය පිහිටුවීම ආරම්භ කළේ මින්ග් රාජසභාව විසිනි. ඒ, මින්ග් රාජවංශය වෙනුවෙන් සහ විශේෂයෙන් යොන්ග්ලේ අධිරාජයාගේ අවශ්‍යතාව මත චීනයේ මිලිටරි, දේශපාලන හා වාණිජ අධිකාරිය පුළුල් භූගෝලීය ප්‍රදේශයක් හා සමුදුරු සීමාවලට ඔබ්බෙන් ව්‍යාප්ත කිරීම සඳහාය. මේ සඳහා විශාල නාවික බලඇණියක් හා දහස් සංඛ්‍යාත පිරිස් බලයක් සහ සම්පත් යොදා ගන්නා ලදී. ‘මින්ග් නිධාන චාරිකා’ හතේ ප්‍රධාන අභිප්‍රාය වූයේ ආසියාවේ විවිධ ප්‍රදේශවල, මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවල සහ නැගෙනහිර අප්‍රිකාවේ මොගඩිෂු සහ මොම්බාසා වැනි ස්ථානවල චීන අභිප්‍රායන්ට පාක්ෂික දේශීය දේශපාලනික සහචරයින් සොයා ගැනීම, අවශ්‍ය නම් ඇතැම් ස්ථාන පූර්ණ වශයෙන් නතුකරගැනීම  සහ චීන බල ක්ෂේත්‍ර (spheres of influence) ස්ථාපනය කිරීමයි.

1911 දී ගාල්ලෙන් සොයාගත් චීන, පර්සියානු සහ දෙමළ භාෂාවලින් ලියවුන ත්‍රිභාෂා සෙල්ලිපිය විසින් පෙන්නුම් කරන දේශපාලනය අපට තේරුම් ගත හැක්කේ මෙම සන්දර්භය තුළ ය. සෙන්ග් හේ  ශ්‍රී පාදයට, දෙවිනුවර විෂ්ණු දේවාලයට සහ මුස්ලිම් පල්ලියකට (බොහෝ විට ගාල්ලේ පිහිටා තිබූ) ලබාදුන් දීමනා  පිළබඳව මේ සෙල්ලිපිය විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙය එකල දිවයිනේ ජීවත් වූ විශාල හා බලවත් ප්‍රජාවන්ගේ සමාජ-දේශපාලනික සංවේදීතාවන්ට ආයාචනා කිරීමේ සියුම් නමුත් පැහැදිලි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් බව තේරුම්ගත යුතුය. ලොව නොයෙකුත් ස්ථානවල මෙවැනි සියලු මැදිහත්වීම් සිදු කරන ලද්දේ චීන නාවික යාත්‍රා සඳහා සමුද්‍රීය මාර්ගවල ආරක්ෂාව සහ ස්ථාවරභාවය සහතික කිරීම සඳහාය.

සෙන්ග් හේ ගේ ‘මින්ග් නිධාන චාරිකා,’ 1405 – 1433

අවාසනාවකට මෙන්, මෙම මහා පරිමාණ ගෝලීය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අලකේශ්වර චීන ව්‍යාප්තිවාදීන්ට ගැටළුවක් බවට පත්විය. ඊට හේතුව  ඔහු මේ සමුද්‍ර චාරිකාවල සමස්ත හා පුළුල් න්‍යාය පත්‍රය හා දේශපාලනය වටහා නොගෙන, ඒවා දෙස හුදෙක් ඔහුගේ ආසන්නතම ප්‍රාදේශීය දේශපාලන තත්වයන් ඔස්සේ පමණක් බැලීම නිසාය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු ලංකාවේ චීන අභිප්‍රායන්ට සතුරු විය. ඔහුගේ විරෝධය වඩාත් පැහැදිලිව එල්ල වූයේ ලංකාවේ සහ ඒ අවට සමුද්‍රික ප්‍රදේශයේ චීන වෙළඳාම පුළුල් කිරීමේ උත්සාහයන්ට එරෙහිවය. චීන වෙළඳාම දිගු කලක් තිස්සේ ලංකා ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වූ බව ඉතිහාසමය වශයෙන් පැහැදිළි කරුණකි. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මට මෑතකදී මතක් කර දුන් පරිදි, පැරණි යාපහුව  රාජධානිය ආශ්‍රිතව කළ කැණීම්වලින් සොයාගත් විශාලතම විදේශීය කාසි එකතුව චීන සම්භවයක් සහිත කාසි බවයි. ලංකාවේ බටහිර වෙරළ තීරය මධ්‍යම කඳුකරයේ කුළුබඩු හා මැණික් නිෂ්පාදානය කළ ප්‍රදේශ සමඟ සම්බන්ධ කරන ප්‍රධාන වෙළඳ මාර්ගය මධ්‍යයේ යාපහුව පිහිටා තිබීම අහම්බයක් නොවේ. මෙම සන්දර්භය තුළ, අලකේශ්වර ලාංකේය මුහුදු ප්‍රදේශයේ සැරිසැරූ හා නවතා තිබූ සෙන්ග් හේ ගේ නාවික බලඇණියට එරෙහිව සාමානයයෙන් ‘මුහුදු කොල්ලකෑම්’ ලෙස විස්තර කෙරෙන ප්‍රහාර ගණනාවක් එල්ල කරන ලදී. නමුත් මෙය සිදු කිරීම සඳහා, මන්නාරමේ සිට ගාල්ල දක්වා වූ ප්‍රදේශයේ සිටි දේශීය ‘සමුද්‍රීය බලවතුන්ගේ’ සහාය අලකේශ්වර විසින් ලබාගන්නට ඇත. ඔවුන් බොහෝ දෙනා  මුස්ලිම් වෙළෙඳ අධිපතීන් විය. ඔවුන්ගේ සහාය අලකේශ්වරට ලැබෙන්නට ඇත්තේ  චීන වෙළඳ ව්‍යාප්තිය නිසා ඔවුන්ගේ ලාභයට එය නිශේධනීය ලෙස බලපාන්නට ඇති බැවිනි. මේ සියල්ල සිදු වූයේ 1405 පළමු මින්ග් නිධාන චාරිකා සන්ධර්භය තුළය. මෙම දේශීය එදිරිවාදිකම්වල ප්‍රතිපලයක් ලෙස සෙන්ග් හේ ලංකාවේ මුහුදු සීමාවෙන් ඉවත්වීමට උපායමාර්ගික තීරණයක් ගත්තේය. නමුත් පසු සිදුවීම් වලින් පෙනී යන පරිදි, අලකේශ්වරගේ ඊනියා අනාචාරශීලීභාවය හා තමාට කරන ලදැයි විශ්වාස කළ අපහාස ඔහු කිසි ලෙසකින්වත් අමතක කළේ නැත.

යොන්ග්ලේ අධිරාජයා

සෙන් හේ ගේ පළිගැනීම

චීන ජාතිකයින්ගේ පළිගැනීම සිදුවූයේ තුන්වන මින්ග් නිධාන චාරිකාවේ කොටසක් ලෙස ය. ලංකාවට පැමිණීමෙන් පසු මෙම මුහුදු ගමනේ ප්‍රධාන අරමුණ වූයේ අලකේශ්වර හමුදාමය වශයෙන් පරාජය කිරීමයි. 1410 හෝ 1411 දී අලකේශ්වර සමග මෙම ගැටුම සිදුවිය. සෙන් හේ සහ ඔහුගේ හමුදා කෝට්ටේ නගරයට පහර දී අලකේශ්වර, ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහුට සමීප  ප්‍රධාන දේශපාලන නායකයින් සිරභාරයට ගත්හ. පසුව,  ඔවුන් සිරකරුවන් ලෙස චීනයට ගෙන යන ලදී. 1515 දී යැං රොං විසින් ලියන ලද යැං වෙන්මින් ගොං ජි (නැතහොත්, යැං රොංගේ එකතු කරන ලද ලියවිලි The collected Works of Yang Rong) යන කෘතිය ඔස්සේ කෝට්ටේ සටන සහ එහි ප්‍රතිපල පහත දැක්වෙන, බෙහෙවින් අපකීර්තිමත් වචනවලින් විස්තර කරනුයේ දේශීය ජනයා “විනාශකාරී කෘමින්” සහ “නොවැදගත් පණුවන්” ලෙස විදහා දක්වමිනි:

“කෙලින්ම, උන්ගේ ගුහාවන් සහ සැඟව සිටි ස්ථාන අපි විනාශ කර, උන්ගේ මුළු රටම වහල්භාවයට පත් කර, අපේ අගනුවරට උන්ගේ කාන්තාවන්, දරුවන්, පවුල් සහ සේවකයින්ද  රැගෙන ආවෙමු. අප උන් කිසිවෙකුවත් උන්ගේ රටේ ඉතිරි නොකළෙමු. විනාශකාරී කෘමින් වන් වූ උන් එක ආක්‍රමණයකින්ම යටත් කළේ,  ධාන්‍යවලින් දහයියා ගසා දමා ඉවත් කරන අයුරෙනි.  බියෙන් වෙව්ලමින්, දස දහස් වාරයක් මැරීමට සුදුසු මෙම නොවැදගත් පණුවන් ස්වර්ගයේ දඩුවම් ලැබීමට ද නුසුදුසු විය.”

සෙන්ග් හේ ගේ ලංකා ආක්‍රමණය සහ එවකට දිවයිනේ සිටි ප්‍රබලතම නායකයෙකු පැහැර ගැනීම සමකාලීන මිලිටරි ලේඛකයින් ‘ශල්‍යකර්මීය ආක්‍රමණයක්’ (surgical strike) ලෙස හඳුන්වන යුද ක්‍රියාන්විතයන්ට බෙහෙවින් සමීප වේ. එනම්, ඉතා නිශ්චිත අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන අතිශය උපායමාර්ගික නිරවද්‍යතාවයෙන් යුත් ප්‍රහාරයකි. වඩාත් වැදගත් වන්නේ, මෙම ප්‍රහාරය සිදු වූයේ විශාල සාගර ප්‍රදේශ හරහා බල ප්‍රක්ෂේපණය භාවිත කරමින් පුළුල් සමාජ-දේශපාලන සන්දර්භයක් තුළ වීමය. සමකාලීන විද්වතුන් මෙවන් බල ප්‍රක්ෂේපණ ‘ප්‍රහාරක බෝට්ටු රාජ්‍ය තාන්ත්‍රිකත්වය’ (gun-boat diplomacy) ලෙස ඇතැම්වි විට ස්තර කරති. සෙන්ග් හේ ගේ මෙහෙයුම යුදමය වශයෙන් කෙතරම් සාර්ථක වුවත්, සැලකිය යුතු දේශීය සහයෝගයක් නොමැතිව මෙම ප්‍රහාරය මෙතරම් පහසුවෙන් හා සුමටව සිදුවනු ඇතැයි සිතිය නොහැක. මෙවන් දේශීය උදව් උපකාර පිළබඳ කිසිම සඳහනක් සමකාලීන චීන වාර්තාවල දැකගත නොහැක.  එහෙත් මෙය පැහැදිලිවම එකල බෙහෙවින් බලවත් ව සිටි අලකේශ්වර පවුල තුළම සැලකිය යුතු දේශපාලන කැලඹීමක් ඇති කළ කාලයකි. එමෙන්ම, මේ කාලයේ අනාගතයේදී කෝට්ටේ රාජධානියේ බලය ලබා ගැනීම සඳහා අන් නොයෙකුත් දේශපාලන නායකයින් බල අරගලයක දී සිටි යුගයක් ද විය. මේ අතර, අලකෙශ්වරගෙන් පසුව කෝට්ටේ රාජ්‍යත්වය හිමිකර ගත්  හයවන පරාක්‍රමබාහු රජුගේ පවුලේ සාමාජිකයින් ද ඇතුළු ව අනෙකුත් ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් සිටි බව අප මතක තබා ගත යුතුය.

සෙන්ග් හේ පිළිරුවක්

1411 දී සෙන්ග් හේ තම ලාංකේය සිරකරුවන් මින්ග් අධිරාජයා වූ යොන්ගලේ වෙත ගෙන ගිය අතර, පසුව යොන්ගලේ අධිරාජයා අලකේශ්වරට සමාව දී ඔහුව නැවත කෝට්ටේ වෙත ගෙනයන්නට විදිවිධාන සැලසුවේය.  මෙම සමාව යැං රොං විසින් පහත සඳහන් වචනවලින් විස්තර කර ඇත:

“මේ අනුව අපගේ මහේශාක්‍ය  අධිරාජයා ඔවුන්ගේ ජීවිත බේරා ගත්තේය. ඔවුන් බැගෑපත්ව, කෙඳිරිගාමින්, අපගේ මින්ග් අධිරාජයාගේ ගුණ ගයන්නට වූහ.”

නමුත් මෙම පරාජය මගින් අලකේශ්වරගේ සහ ඔහුගේ විස්තෘත පවුලේ දේශපාලන කීර්තිය හා බලය සදහටම නැති කරන ලදී. අලකේශ්වරගේ පරාජයේ ප්‍රතිපලයක් ලෙස හයවන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ රාජධානියේ සිංහාසනයට පත්විය. 15 වන සියවසේ සිදු වූ සෙන්ග් හේ ගේ මෙම ප්‍රහාරය හුදෙක් ප්‍රාදේශීය නායකයෙකුගෙන් සිදු වූ ඊනියා අපහාසයකට කළ පළිගැනීමට වඩා වැඩි යමක් බව අප තේරුම්ගත යුතුය.  එය එකළ කෝට්ටේ රාජධානියේ පැවති පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීම සඳහා සහ චීනයේ අභිප්‍රායයන්ට වඩා පක්ෂපාත පාලකයෙකු ලංකාව තුළ ස්ථාපනය කිරීමේ පුළුල් සැලැස්මේ කොටසකි. සෙනරත් පරණවිතාන සහ සී. ඩබ්ලිව්. නිකලස් විසින් රචිත A Concise History of Ceylon: From the Earliest Times to the Arrival of the Portuguese (ලංකාව පිළබඳ කෙටි ඉතිහාසයක්: මුල්ම කාලයේ සිට පෘතුගීසීන් ගේ පැමිණීම දක්වා, 1961) යන කෘතියෙන්, ඔවුන් පරිශීලනය කළ චීන වාර්ථා ඇසුරින් පෙන්වා දෙන්නේ, හයවන පරාක්‍රම බාහු රජතුමා එවකට මින්ග් රාජ සභාවේ සිටි සිංහල රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් තෝරාගැනීමෙන් පසුව, යොන්ගලේ අධිරාජයා විසින් කෝට්ටේ රජු ලෙස නම් කර, සෙන් හේ විසින් තමන් සතුව තිබූ යුද හා නාවික බලය යොදවා ස්ථාපනය කළ බවයි. මෙලෙසින් බලන විට, හයවන පරාක්‍රමබාහු රජතුමාගේ බලය තහවුරු කිරීමේ ක්‍රියාවලිය වර්තමානයේදී නම් හදුන්වනු ඇත්තේ  ‘විදේශ මැදිහත්වීමක්’ ලෙසය. ඒ කෙසේ වුවද, ඔහු ලංකාවේ අවසාන ‘ශ්‍රේෂ්ට රජු’ (great king) බවට පත්වූ බව අවිවාදිතය. ඔහුගේ පාලනය යටතේ සමස්ත දිවයිනම දේශපාලනිකව ‘එක්සේසත්’ කළ  අතර, එනිසාම දිවයිනට දේශපාලන ස්ථාවරත්වයක් ද  ලැබුණි. මේ කාලයේ සැලකිය යුතු සංස්කෘතික පුනර්ජීවනයක් ද දැකගත හැකි වූ බව ඉතිහාසය විසින් අපට පෙන්වා දී ඇත. නමුත් මා මෙතෙක් විස්තර කර ඇති කරුණු හා සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ, හයවන පරාක්‍රම බාහු රජතුමා චීන ජාතිකයන් සමඟ දේශපාලන සන්ධානයක් ඇතිකර ගැනීමයි. එමඟින් මින්ග් නිධාන චාරිකා වැනි පුළුල් දේශපාලන ව්‍යාපෘතිවලට දේශීය සාගරික ප්‍රදේශ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවකාශය ලැබුණු අතර, කලාපීය වශයෙන් අවශ්‍ය වූ දේශපාලන සහයෝගය ද මින්ග් රාජ සභාවට ලැබුණි. නමුත් අපේ ඉතිහාසයට බෙහෙවින් වැදගත් වියයුතු මෙම වැදගත් කථාංගය ලංකාව තුළ මුළුමනින්ම පාහේ අමතක වී ගොස් ඇත. එමෙන්ම, මේ අමතකවීම හුදු ජනප්‍රිය කතිකාව තුළ පමණක් සිදු වූ දෙයක් නොව, එය විධිමත් ඉතිහාසකරණ කතිකාව තුළ ද එලෙසින්ම සිදු වී ඇති බව පෙනේ.

අතීතයෙන් ලැබෙන සංඥා

මා මුලින්ම  පැවසූ පරිදි, මෙය 1980 දශකයේ මුල් භාගයේ දී බෙහෙවින් විචක්ෂණශීලී ගුරුවරයෙකු විසින් මට සහ මගේ පන්තියේ සිටි අන්‍යයන්ටද  කියන ලද කතාවකි. එමෙන්ම, එය හුදු කතාවක් පමනක් නොව, ඓතිහාසික තොරතුරු මගින් සනාථකළ හැකි සිදුවීමකි. දශක තුනකට පමණ පසු එය මගේ මතකයට ආවේ හුදෙක් එය අපට බොහෝ දුරට අමතක වී ගොස් ඇති කාලයක සිදු වූ  කුතුහලය දනවන කතාවක් නිසා පමණක් නොවේ. එමෙන්ම, එය මගේ මතකයට නැගුනේ අද අප රටේ හොඳින් පොත්පත් කියවන හා විචක්ෂණශීලී පාසල් ගුරුවරුන් හෝ විද්වතුන් පවා පහසුවෙන් සොයාගත නොහැකි නිසා ඇති වූ අතීතකාමී හැඟීම නිසා පමණක් ද නොවේ. ඊට හේතුව, මේ සියල්ලටම අමතරව, මේ ඉපැරණි කතාව එම සිද්ද්ධිය සිදු වූ කාලයේ දේශපාලනය පිළබඳව මෙන්ම වර්තමාන දේශපාලනය පිළිබඳව ද බොහෝ දේ අපට කියාදෙන නිසාය.  අද දින, 15 වන සියවසේ සිදු වූ මෙම ඓතිහාසික සිදුවීම පිළබඳව  කියවන විට, සමකාලීන යුගයේ බලවත් ජාතීන් ලෝකයේ විවිධ ප්‍රදේශවල මේ හා බෙහෙවින් සමාන ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු මගේ සිහියට නැගේ. මෙවැනි බලවතුන්ගේ ක්‍රියාකාරකම්වලට නතුවන බොහෝ රටවල් පිහිටා තිබෙන්නේ, ශ්‍රී ලංකාව ද ඇතුළත් වන ‘ගෝලීය වශෙයන් දක්ෂිණ ප්‍රදේශවල’ (Global South) බව ද පැහැදිලිය.

කෙසේ වුවද, අතීතයේ සිට වර්තමානයට ලැබෙන සංඥා නිවැරදිව කියවීමට අපට හැකියාව තිබුනේ ද සහ එමගින් අපගේ වර්තමානය නැවත සකස් කරගැනීමේ බුද්ධිය අපට තිබුනේ ද  යන්න අපට නුදුරු අනාගතයේදී පෙන්වා දෙනු ඇත. 

Total
34
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට