Skip links

සිංහල ගීතයේ හා කාව්‍යයේ දේශපාලනය

Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය). ගැරට් ෆීල්ඩ්. ඕක්ලන්ඩ්: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 213. ISBN: 9780520294714 (මෘදු කවරය සහිතව). ඇමරිකානු ඩොලර් $34.95. doi: 10.1525/luminous.27  

විමර්ශනය: ප්‍රවීන් තිලකරත්න, ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

සිංහල ජනප්‍රිය ගීයේ රසිකයන්ට මෙන්ම එහි ඉතිහාසය, රසාස්වාදය හා විචාර කලාව හදාරන්නන්ට ගීයක පදවල ඇති වැදගත්කම මෙන්ම ගී පද හා කාව්‍යය අතර ඇති සමීප සබඳතාව පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. එනමුත්, මෙය විශ්වීයව පවතින සාමාන්‍ය, ස්වාභාවික සබඳතාවක් නොව, ඓතිහාසික කාරණා මත පදනම් වූ, 20 වන සියවසේ සිංහල සංස්කෘතියේ නවීකරණ ක්‍රියාවලිය තුළ නිර්මාණය වූ, එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවටත් (පුළුල් ලෙස, අඩු වැඩි වශයෙන්  දකුණු ආසියාතික නූතනත්වයටත්) විශේෂිත වූ සම්බන්ධයකි. ඒ අනුව, ලෝක සංගීතය හා සංගීත විද්‍යාව දත් අයෙකුට මෙකී සම්බන්ධය සන්දර්භානුකූලව අධ්‍යයනය කළ යුත්තක් ලෙස පෙනී යයි. තව ද, නවීකරණය හා සංස්කෘතික නූතනත්වය සමග සමීපව බැඳුණු මෙවන් සම්බන්ධයක් වටා යම් දේශපාලනයක් පවතින බව ද පැහැදිලිවම වටහා ගැනීමට පුළුවන. Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (2017) නම් මෙම ඉතා පරීක්ෂාකාරී ලෙස කරන ලද අධ්‍යයනයේ ගැරට් ෆීල්ඩ් ගවේෂණය කරන්නේ සිංහල ගීතය, කාව්‍යය සහ දේශපාලනය අතර ඇති සුවිශේෂී හා අපූර්ව සම්බන්ධයයි. ‘දේශපාලනය’ ලෙස මේ විමර්ශනයේත් ෆීල්ඩ්ගේ කෘතියේත් නම් කරනු ලබන්නේ පක්ෂ දේශපාලනයවත් ජාතික හෝ ප්‍රාදේශීය දේශපාලනයවත් නොව, කලාව හා සංස්කෘතිය වටා බැඳුණු, සෑම කලාත්මක භාවිතාවකම ගම්‍ය වන සංස්කෘතික තලයට අදාළ දේශපාලනයයි. 

ගැරට් ෆීල්ඩ් අයත්වන අධ්‍යයන ක්ෂේත්‍රය ‘මානව-සංගීත විද්‍යාව’ (ethnomusicology) නම් වේ.  මෙය සංස්කෘතිය හා සමාජය යන පැතිවලින් සංගීතය වෙත ප්‍රවේශ වී, එහි නිෂ්පාදනය හා  භාවිතය අධ්‍යයනය කිරීම සඳහා කැප වූ ක්ෂේත්‍රයක් වන අතර, මානව විද්‍යාව හා සංගීත විද්‍යාව යන ක්ෂේත්‍ර එකතු වීමෙන් සෑදුනකි. සාම්ප්‍රදායිකව, මෙම ක්ෂේත්‍රය තුළ වැඩි අවධානයක් යොමු වන්නේ සංගීතය විවිධ සමාජීය හා සංස්කෘතික සන්දර්භ තුළ ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීමට මිස ගී පදවල අරුත් හා ඒවායේ භාෂාමය හා ආකෘතිමය ලක්ෂණ ගවේෂණය කිරීම සඳහා නොවේ. මෙනිසා, ෆීල්ඩ්ගේ මෙම කෘතිය අන්තර්-ශික්ෂණීය අධ්‍යයනයකි. ඔහුගේම වදනින් මෙය හඳුන්වා දී ඇත්තේ, “කලාපීය අන්තර්-ශික්ෂණීයත්වයට” (areal interdisciplinarity) (2017: 5) අයත් අධ්‍යයනයක් වශයෙනි. නිශ්චිත කලාපයක හා වකවානුවක පවතින ප්‍රපංචයක් අධ්‍යයනය කිරීමේදී එම ප්‍රපංචය විසින්ම එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා කළ නොහැකි ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඔස්සේ හට ගැනෙන විෂයානුබද්ධ බුද්ධිමය අවශ්‍යතාව ආමන්ත්‍රණය කිරීම කලාපීය අන්තර්- ශික්ෂණීයත්වය නම් වේ. ඒ අනුව, නූතන සිංහල ගීතය යන ප්‍රපංචය තුළ මහගම සේකර (1929-1976), සුනිල් ආරියරත්න (1949-) වැනි ගී පද රචකයන් විසින් ගීයක අගය විනිශ්චය කිරීම සඳහා වඩාත්ම උචිත නිර්ණායකය ගී පදවල කාව්‍යමයභාවය යැයි ප්‍රකාශ කොට ඇති තත්ත්වයක, මෙම ආකල්ප ‘ගී පද විචාර’ වැනි වැඩසටහන් ආදිය ඔස්සේ පොදු සංස්කෘතියේ ද මුල් බැසගෙන ඇති තත්ත්වයක, මානව-සංගීත විද්‍යාව යන ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික විෂය පථයට මෙම අධ්‍යයනය සීමා කළ නොහැක. සංගීත විද්‍යාවට සාහිත්‍ය විශ්ලේෂණය ද එකතු කරගැනීම මෙහිලා අත්‍යවශ්‍ය ය. ඒ අනුව, ෆීල්ඩ්ගේ අධ්‍යයනයේ වැඩි අවධානයක් යොමු වන්නේ සංගීත ශිල්පීන් වෙත නොව, ගී පද රචකයින් හා කවීන් වෙතට ය.   

මුලින්ම, Modernizing Composition කෘතියේ පරිච්ඡේද අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සාරාංශයක් ඉදිරිපත් කිරීම මාගේ අදහසයි. එමගින් කෘතිය පිළිබඳ මූලික අදහසක් සම්පාදනය කරගත හැකි වනු ඇත. පළමු පරිච්ඡේදයේ ෆීල්ඩ් සාකච්ඡාවට ලක් කරන්නේ ජෝන් ද සිල්වා (1857-1922), ආනන්ද රාජකරුණා (1885-1957) සහ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි (1901-1951) යන ගී පද රචකයන්ගේ පුරෝගාමී භූමිකාවයි. මෙම කාලයේ වඩාත් වර්ධනය වෙමින් පැවති අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදයත්, නැගී ආ සිංහල බෞද්ධ අනන්‍යතාවත් කෙරෙහි ෆීල්ඩ් අවධානය යොමු කළ ද ජාතිකත්වය සියලුම දේ පැහැදිලි කිරීමට සමත්වන රාමුවක් හෝ දෘෂ්ටියක් හෝ ලෙස ඔහු සලකන්නේ නැත. සංස්කෘතික ගතිකත්වයන් අධ්‍යයනය කිරීමේදී තාක්ෂණයේ ඇති වැදගත්කම (විශේෂයෙන්ම ග්‍රැමෆෝන් හා ගුවන්විදුලිය වැනි තාක්ෂණ), සංගීතයේ ආකෘති හා තේමා හැඩගැස්වීමේලා ප්‍රාග්ධනයත් ධනේශ්වර අභිලාෂත් බලපෑ ආකාරය, දෙවන ලෝක යුද්ධය වැනි ගෝලීය සිද්ධීන් වෙළඳපොළට නව අභියෝග ඉදිරිපත් කළ අයුරු ආදී බොහෝ විග්‍රහවල මගහැරෙන කාරණා ඔහු විශේෂයෙන් සලකා බලයි. දෙවන පරිච්ඡේදයේ හෙළ හවුලත් හෙළ හවුලෙන් විශාල ආභාසයක් ලැබූ පුරෝගාමී ගායක සුනිල් සාන්තගේ (1915-1981) චරිතයත් ෆීල්ඩ් විශ්ලේෂණය කරන්නේ බටහිර-පෙරදිග යන ද්විත්ව විභේදනය තුළ සිරව නොව, දකුණු ආසියාව තුළ වූ අනේක කලාපීය බල සබඳතා සහ අනන්‍යතා එකිනෙක ගැටෙන අයුරු ද පරෙස්සමෙන් පිරික්සා බලමිනි. මින් පසුව එන පරිච්ඡේදවල ෆීල්ඩ්ගේ අවධානය යොමුවන්නේ පශ්චාත් යටත්විජිතවාදී යුගයේ බිහිවූ – විශේෂයෙන්ම 1956න් පසුව නිර්මාණය වූ දේශපාලන සංස්කෘතික ව්‍යුහය තුළ – වැදගත් කවීන් හා ගී පද රචකයන් වෙත ය. මේ අතර ගීත නාටකයේ ප්‍රභවයට දායක වූ චන්ද්‍රරත්න මානවසිංහ (1913-1964) හා විමල් අබේසුන්දර (1921-2008) ද නිසදැස් කාව්‍යයට හා නූතනවාදී සාහිත්‍යයට විශාල බලපෑමක් වූ සිරි ගුනසිංහ ද (1925-2017) සංගීතයට හා කාව්‍යයට ගැමි හා ජනශ්‍රැතික අංග හඳුන්වා දුන් මඩවල රත්නායක (1929-1997) හා ගුණදාස අමරසේකර ද (1929-) වෙති. සමස්ථ අවසාන පරිච්ඡේදයම වෙන්කොට ඇත්තේ 1956 වසරේ ඇති වූ දේශපාලන හා සංස්කෘතික පෙරළියෙන් පළමුව යම් උද්‍යෝගයක් ලැබ, පසුව එම සිද්ධිය නිසාවෙන් හටගැනුණු දේශපාලන හා සමාජ අගතීන් නිසා කලකිරුණු මහගම සේකරගේ කවි හා ගී පද රචනාවල වූ දශක දෙකක වර්ධනය සාකච්ඡා කිරීමට ය.  

සුප්‍රකට ලේඛකයකු වන සල්මන් රුෂ්ඩී වරෙක කියා සිටියේ, සිනමා ශාලාවක පිටුපස සිට සිනමා තිරය වෙත ගමන් කළහොත්, තිරයට ඉතා සමීප වූ අවස්ථාවේ එහි දිස්වෙන වස්තු, රූප හා චරිත ආදිය පික්සල් (pixel) ගණනාවකට බිඳී අර්ථ විරහිත අංශු බවට පත් වේ යැයි කියා ය (රුෂ්ඩී 1991: 13). ඒ අනුව, අර්ථවත් බව හා කතාවක හෝ ඉතිහාසයක පැහැදිලි බව නිෂ්පාදනය වන්නේම යම් දුරස්ථභාවයක් හේතු කොටගෙනැයි කිව හැකිය. මෙතැන රුෂ්ඩී අදහස් කරන්නේ අවකාශය නැතහොත් ස්ථානය සම්බන්ධයෙන් වන දුරස්ථභාවය වුව ද, එය කාලයට ද උචිත රූපකයක් ය. ඒ අනුව, ෆීල්ඩ් ඉදිරිපත් කරන මෙම ඉතිහාස කතාවේ ද වඩාත් දුරස්ථ සිදුවීම් – විශේෂයෙන්ම ජෝන් ද සිල්වා සිට හෙළ හවුල දක්වා වූ සිදුවීම් – අර්ථවත් බවත්, ඒවා ඉතිහාසගත කොට ඇති ආකාරය ‘සාධාරණ’ බවත් සිතුණ ද, වර්තමානයට වඩාත් සමීප වෙත්ම, ගුණදාස අමරසේකර, මහගම සේකර වැනි වඩාත් මෑත කාලීන චරිත එසේ ඉතිහාසකරණයට භාජනය කිරීම අපහසු බව හා මේ මේ ප්‍රපංචයේ හටගැන්ම සඳහා නිශ්චිත හේතු මේ මේ යැයි පැහැදිලි කිරීම දුෂ්කර බව පාඨකයාට හැඟී යා හැක.  

ෆීල්ඩ්ගේ කෘතියේ එක් ප්‍රධාන න්‍යායාත්මක නියැලීමක් වන්නේ පශ්චාත් යටත්විජිතවාදී න්‍යායයයි. එනමුත් දැන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව තුළ ‘සම්භාව්‍ය’ තත්ත්වයක් අත්පත් කරගෙන ඇති පශ්චාත් යටත්විජිතවාදී න්‍යායයේ සීමා පෙන්වා දෙමින් පශ්චාත් යටත්විජිතවාදී භූදේශපාලන හා සංකලපීය සැකැස්ම තුළ ද යම් ආන්තික තත්ත්වයක් හිමි ශ්‍රී ලංකාව වැනි ස්ථානවලට එම න්‍යායයන් අදාළ වන්නේ සීමිත දුරකට පමණක් යැයි ෆීල්ඩ් විචාරශීලීව පෙන්වා දෙයි. නිදසුනක් ලෙස, පාර්ථා චැටර්ජී විසින් විස්තර කරනු ලබන ජාතිකවාදී චින්තනයේ අවධි තුනේ ආකෘතිය ෆීල්ඩ් බාරගන්නේ විවේචනයක් ද සමග ය. චැටර්ජීට අනුව, ජාතිකවාදී චින්තනයේ පළමු අවධිය වන ‘පටන්ගැන්මේ මොහොත’ (moment of departure) සම්බන්ධයෙන් පෙර-අපර දෙදිග අතර මූලික සංස්කෘතික වෙනසක් පවතින බව ජාතිකවාදී චින්තකයන් තර්ක කරති (චැටර්ජී 1993: 50-51). තවද, මේ මූලික අවධියේ ඔවුහු බටහිර ලෝකය විද්‍යාව, තාක්ෂණය, හා ප්‍රගතිය ආදී භෞතික පැතිකඩවලින් පෙරදිග ලෝකයට වඩා දියුණු බව පිළිගත්ත ද, පෙරදිග ලෝකය ආත්මීය හා ලෝකෝත්තර යන පැතිකඩවලින් බටහිරට වඩා විශිෂ්ට බව තර්ක කරති (චැටර්ජී 1993: 50-51). ඒ අනුව, මේ අවධියේ බටහිර සංස්කෘතිය විවේචනයට ලක් කෙරුණ ද අධිරාජ්‍යවාදී පාලනය ඍජුව ප්‍රශ්න කිරීමකට ලක්වූයේ නැත. අනගාරික ධර්මපාල වැනි මුල්කාලීන ජාතිකවාදී චින්තකයන් තරමක් දුරට මේ අවධියට ඇතුළත් කරගත හැකි අතර, ජෝන් ද සිල්වා සහ ආනන්ද රාජකරුණා වැනි ශිල්පීන්ගේ භූමිකාව පැහැදිලි කිරීම සඳහා ෆීල්ඩ් මෙම අදහස යොදා ගනියි. චැටර්ජීගේ දෙවන අවධිය ‘උපක්‍රමික මොහොත’ යි (moment of manoeuvre) (චැටර්ජී 1993: 51). මෙහිදී මධ්‍යම පන්තිය විසින් ජනතාව නිදහස වෙනුවෙන් සටන් කිරීම සඳහා පොළඹවනු ලබයි. සමාජීය සංස්කෘතික ව්‍යුහයන් තුළ ජනිත වන මේ චින්තන ක්‍රියාවලිය දේශපාලන ව්‍යුහය තුළ ඍජුවම මැදිහත් වන්නේ ‘පැමිණීමේ මොහොත’ (moment of arrival) නම් වූ තෙවන අවධියේ ය (චැටර්ජී 1993: 163). ෆීල්ඩ් එස්. මහින්ද හිමි චැටර්ජීගේ දෙවන අවධියට ඇතුළත් කළ ද, මෙම කාලයේම ඇතිවන මෙකී රාමුවට ඍජුවම අනුගත කළ නොහැකි වැදගත් ප්‍රවණතාවක් ද විස්තර කරයි. එනම්, 1930 ගණන්වල සිංහල ග්‍රැමෆෝන් ගීතයේ ප්‍රභවයයි. ෆීල්ඩ් පෙන්වා දෙන පරිදි, ග්‍රැමෆෝන් ගීතවල ජාතිකවාදී තේමා හා හැඟවුම් බහුල වුව ද ඒවා ජාතික නිදහස වෙනුවට ලාභ ලැබීම අරමුණු කරගත් නිෂ්පාදනයි. ඒ අනුව, ඔහු චැටර්ජී මෙන්ම සම්භාව්‍ය පශ්චාත් යටත්විජිතවාදී න්‍යායාචාරීන් සංස්කෘතික උපරිව්‍යුහය හා චින්තනය යම් දුරකට අධිතක්සේරු කරන බවත්, එතුළින් ඔවුන්ට වෙළෙඳපොළේ ගතිකයන් හා ප්‍රාග්ධනයේ බලපෑම් මගහැරෙන බවත් පෙන්වා දෙයි. පශ්චාත් යටත්විජිතවාදය මෙසේ ප්‍රාග්ධනය අවතක්සේරු කරන බව හා මැද පන්තියේ සවිඥානයට ව්‍යාජ කේන්ද්‍රීය භාවයක් ලබා දෙන බව විවේක් චිබ්බර් සහ වසන්ත් කයිවාර් වැනි මාක්ස්වාදී විචාරකයන් ද පෙන්වා දී තිබේ.1    

ඉහත සඳහන් කර ඇති පරිදි ෆීල්ඩ් කලාපීය බල සබඳතා පිළිබඳව ද මනා අවධානයක් යොමු කරන අතර, හෙළ හවුල වැනි කණ්ඩායම් ඔහු ස්ථානගත කරන්නේ ප්‍රධාන වශයෙන් බටහිර විරෝධී ලෙසට වඩා උත්තර භාරත විරෝධී ව්‍යාපාර ලෙසින් ය. එලෙස, පාර්ථා චැටර්ජීගේ මෙන්ම දීපේශ් චක්‍රබර්තිගේ පශ්චාත් යටවිජිතවාදී සංකල්පනයන්හි බටහිරත් යටත්විජිත ලෝකයත් අතර ඉදි කරනු ලැබූ ද්විත්ව විභේදනය විසංයෝජනය කිරීමට ෆීල්ඩ් සමත් වෙයි. එක්තරා ආකාරයකට, මෙමගින් ‘ජාතිකත්වය’ යන ඒකාකෘතික න්‍යායික අදහස විවේචනයට ලක් වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවී තිබෙන බොහෝ සංස්කෘතික අධ්‍යයන කෘති සුවිශේෂ ලෙස ඉස්මතු කර දෙන ‘සිංහල බෞද්ධ ජාතිකවාදය’ යන ශ්ලෝක පාඨය ෆීල්ඩ් නම් පුන පුනා ගයන්නේ නැත. ඔහුට අනුව, දේශපාලනය වනාහි සිංහල බෞද්ධ (හෝ ‘ජාතික’) දේශපාලනයම නොව, සංස්කෘතියට අනන්‍ය, ජාතික රාජ්‍යයෙන් සාපේක්ෂ ලෙස ස්වාධීනව ක්‍රියා කරන සෞන්දර්යයේ දේශපාලනයකි. උදාහරණයක් වශයෙන්, මඩවල රත්නායකගේ ‘ජන ගායනා’ ගුවන්විදුලි වැඩසටහනේ විකාශනය වූ පළමු ගීය වූ අමරදේව ශූරීන්ගේ ‘රන්වන් කරල් සැලේ’ ගීයේ එන ‘ගම-පන්සල-වැව-දාගැබ’ නම් රූප හේතු කොටගෙන ඇතැමෙකුට එම ගීයම සිංහල බෞද්ධ දේශපාලනය නියෝජනය කරන්නක් ලෙස සැනෙකින් හැඟෙන්නට පුළුවන් වුව ද, ෆීල්ඩ් මෙහි අවධාරනය කරන්නේ එවන් දේශපාලනයක් නොවේ. ඔහු ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙන්නේ, ජනප්‍රිය ගීතයක් සඳහා ඉතා දුර්ලභ රිද්මයක් මෙම ගීතයේ තිබෙන බවත්, එය ‘තුරඟා වන්නමේ’ තානම මත පදනම් වූ බවත් ය. මෙතැන ඇත්තේ කලාකරුවා ආශ්‍රිත වෙනත් දේශපාලනයක් ය. එනම්, නවීකරණය සහ නූතනත්වය කෙරෙහි දිශානත වූ නව නිර්මාණාත්මක වියහැකියා සඳහා විවෘත වූ සෞන්දර්යයේ දේශපාලනයක් ය. මෙම න්‍යායික ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා කෘතියේ ඇති උදාහරණ ගණනාවෙන් මෙය එකක් පමණි.

Modernizing Composition සරල භාෂා විලාසයක් භාවිත කරමින්, මනාව පර්යේෂණය කොට ඉතා විචාරශීලී ලෙස ලියැවුණු කෘතියකි. එහෙත්, සියවසකට සමීප කලක් මුළුල්ලේ ගීතය හා කාව්‍යය යන ශානර දෙකෙහිම වූ පරිවර්තනයන් විස්තර කිරීමට වෙර දරන මෙම අධ්‍යයනයේ ඉතා පුළුල් විෂය පථය හේතුවෙන් ඇතැම් අවස්ථාවල (විශේෂයෙන්ම අවසාන පරිච්ඡේද කිහිපයේ) දීර්ඝ හා වඩාත් ගැඹුරු විශ්ලේෂණ හා විමර්ශන සඳහා අවකාශය මදක් අඩු යැයි හැඟෙන්නට පුළුවන. සිංහල ගීතය හා කාව්‍යය පිළිබඳ දැනටමත් ගැඹුරු හැදෑරීමක් ඇති පාඨකයාට නව ඓතිහාසික කාරණා හා සන්දර්භ මෙම කෘතියෙන් බහුල වශයෙන් සොයා ගැනීමට නොහැකි වුව ද ෆීල්ඩ්ගේ න්‍යායාත්මක නියැලීම මෙන්ම, මෙම සංස්කෘතික ඉතිහාසය ‘මානව-සංගීත විද්‍යාව’ තුළ ස්ථානගත කිරීමෙන් ඉස්මතු වන නව අර්ථකථන බෙහෙවින් වැදගත්වන බව පැහැදිලිය. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී තිබෙන න්‍යායික අදහස්, සිංහල සංස්කෘතික සන්දර්භය හා සැසඳිය හැකි වෙනත් සන්දර්භ පිළිබඳ විස්තර ආදිය සමග සිංහලෙන් ලියැවී තිබෙන ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර මැනැවින් ගලපා ගනිමින්, ඒ සියල්ලම හා දක්ෂ ලෙස බුද්ධිමය ගණුදෙනුවක නියැලෙන, විචාරශීලී මැදිහත්වීමක් වන මෙම කෘතිය සිංහල සංස්කෘතිය, සංගීතය, කාව්‍යය හා සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් ඇත්තන්ට වටිනා අධ්‍යයනයකි.

පසු සටහන්

  1. බලන්න: Vivek Chibber, 2013, Postcolonial Theory and the Specter of Capital (London: Verso)  සහ Vasant Kaiwar, 2014, The Postcolonial Orient: The Politics of Difference and the Project of Provincialising Europe (Chicago: Haymarket).

ආශ්‍රිත ග්‍රන්ථ

Chatterjee, Partha. 1993. Nationalist Thought and the Colonial World: A Derivative Discourse. London: Zed Books.

Rushdie, Salman. 1991. Imaginary Homelands: Essays and Criticism 1981-1991. London: Granta Books.

Leave a comment

This website uses cookies to improve your web experience.